Tuesday, February 5, 2013

Anuraradha Pura uyagaye Rajya Paripalana Niladareein


අනුරපුර රාජධානියේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්

‘‘කිසියම් හෝ රාජ්‍යයක් එක් පාලකයෙකුට තනිවම පාලනය කළ නොහැකිය.’’ යන කියමන සනාථ කරමින් අනුරාධපුර රාජධානි සමයෙහි රජු කේන්ද්‍ර කරගත් පාලනයක් ක‍්‍රියාත්මක වි ය. රාජ්‍යයෙහි පාලනය සාර්ථකව ගෙනයාම උදෙසා රජුට සහාය වීමට නිලධාරි මණ්ඩලයක් බිහිවූ බව මූලාශ‍්‍රයගත තොරතුරු වලින් අනාවරණය වේ. විවිධ තනතුරු හෙබවූ මෙම පිරිස රටෙහි දේශපාලන, ආගමික, ආර්ථික මෙන්ම සමාජයීය අංශයෙහි ද පැවැත්ම උදෙසා රජුට සහාය දක්වන ලද බව පැවසිය හැකි ය. රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ භික්ෂූන් වහන්සේලාට නොදෙවැනි සේවයක් ලබාදීමට එකල නිලධාරීහු සමත් වූහ. ඒ අනුව මෙහි අවධානය යොමු වනුයේ අනුරාධපුර රාජධානි සමයෙහි රජු කේන්ද්‍ර කරගත් පාලනයට සහාය දැක්වූ නිලධාරින් පිළිබඳව විමසා බැලීමට යි.

අනුරාධපුර රාජධානි සමයෙහි සිටි නිලධාරින් අතරින් එක් අයෙකු ලෙස දැක්විය හැක්කේ ‘‘ඇමති’’ තනතුර හෙබවූ පුද්ගලයා ය. ලංකාවේ රාජ්‍ය පාලනය ඇරඹුණේ කවර දිනකදී ද එම දිනයේ සිට ම ඇමති නම් වූ තනතුර ද ආරම්භ වී තිබේ. මෙම තනතුර පාරම්පරිකව හිමිවූවක් නො වේ. ඇමතිවරුන් පරිපාලන නීති- රීති සම්පාදනය කිරීම එ්වා අර්ථ නිරූපණය කිරීම මෙන්ම ක‍්‍රියාත්මක කිරීම යනාදි කාර්යයන් සිදුකර තිබේ. විශේෂයෙන්ම රජුගේ අභිෂේක උත්සවයේදී වැඩි වගකීමක් දරන ලද පිරිසක් සේ ඇමතිවරුන් දක්වා ඇත. රාජ්‍ය බලය ව්‍යාප්තවීමත් සමඟම එම කාර්යය භාරයන් සංකීර්ණ වීමත් සමඟ ඇමතිවරුන්ගේ කාර්යය භාරය ද පුළුල්වීම මෙන්ම සංකීර්ණ වීමක් සිදුව තිබේ. රජු සමඟ ඥාති සම්බන්ධතා පැවැත්වූ පවුල් අමච්ච කුල හෙවත් ඇමති කුල යනුවෙන් දක්වා තිබේ. මේ ආකාරයට සංවිධානය වූ ඇමතිවරුන් අනුරාධපුර සමාජයෙහි ක‍්‍රියාත්මක වූ බව මහාවංසය වැනි සාහිත්‍ය මූලාශ‍්‍රයන් පරිශීලනය කිරීමේ දී අනාවරණය වේ.

රාජ්‍ය පාලනය උදෙසා සහාය දක්වන ලද ඇමතිවරුන් සම්බන්ධයෙන් අපට පළමුව තොරතුරු හමුවනුයේ විජය රජතුමාගේ රාජ්‍ය සමයේදී ය. මහාවංසයට අනුව විජය සමඟ පැමිණි ඇමතිවරු ලංකාවේ එක් එක් ස්ථානවල ජනාවාස පිහිටුවා ගෙන තිබේ. අනුරාධ නම් ඇමති විසින් අනුරාධ නම් වූ ග‍්‍රාමය පිහිටුවන ලදී. (ම.ව. 7:43) මෙසේ ලංකාව ජනාවාස කරගන්නා ලද විජය රජුගෙන් පසුව ලංකාව අරාජික තත්ත්වයකට පත්ව තිබූ  බව ඉතිහාසයෙහි දක්වා ඇත. එම අරාජික තත්ත්වයෙන් රට මුදවා ගැනීමට ඇමතිවරුන් ක‍්‍රියා කොට තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පණ්ඩුවාසදේව කුමරුගේ ආගමනය තෙක් රාජ්‍ය පාලනය උපතිස්ස ඇමති විසින් ගෙන යන ලදී. (ම.ව. 8:4)

ඉහත දක්වන ලද තොරතුරුවලට අනුව රජුගේ අභිෂේක උත්සවයේ දී ඇමතිවරුන්ගෙන් විශාල කාර්යභාරයක් ඉටුව තිබේ. එ් බව පැහැදිලි වන අවස්ථාවක් ලෙසින් පණ්ඩුවාසදේව කුමරුගේ අභිෂේකය ඇමතිවරුන් සිදුකිරීම පෙන්වාදිය හැකි යි. මනා නුවණැතියන්ගෙන් සමන්විත වූ ඇමතිවරුන් විසින් එම කාර්යය සිදුකරන ලද බව වංසකතාව දක්වා තිබේ. (ම.ව. 8:27) රාජ පාලනයට සහාය දැක්වූ ඇමතිවරුන් රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවලදී මෙන්ම විදේශීය දූත ගමන්වලදී ද සම්බන්ධ වූ බවට තොරතුරු ලැබේ. උදාහරණයක් වශයෙන් දේවානම්පියතිස්ස රජතුමා අශෝක අධිරාජ්‍යයා වෙත යවන ලද දූත පිරිසෙහි ‘‘මහා අරිට්ඨ’’ ඇමතියා ප‍්‍රමුඛත්වය ගෙන තිබේ. (ම.ව. 11: 20) රජුගේ විශ්වාස කටයුතුවල දී සහායවීමට ඇමතිවරුන් ක‍්‍රියාකරන ලද බව මෙම අවස්ථාවෙන් ගම්‍ය වේ.

සිංහල රජවරුන්ට පමණක් නොව ද්‍රවිඩ එළාර රජුට සහාය වීම උදෙසා ද ඇමතිවරුන් සිටි බව මූලාශ‍්‍රයවල දක්වා තිබේ. එසේ රජුට උපදෙස් දීමට සිටි ඇමතිවරුන් සිංහල ඇමතිවරුන්වීම ද විශේෂත්වයකි. එක් අවස්ථාවක දී එළාර රජුගේ රථය වැදීමෙන් චෛත්‍යයක කොටසක් කැඞී ගොස් තිබේ. එම අවස්ථාවේ දී සිංහල ඇමතියන් ප‍්‍රකාශ කරන ලද්දේ ‘‘අපගේ සෑය ඔබ විසින් නැවත සකස් කළ යුතුය’’යන්නයි. (ම.ව. 21:23) එසේම රාජ්‍යයෙහි සිදුවූ තවත් වැදගත් සිදුවීම් තවත් පාලකයෙකකුට දැනගැනීමට සලස්වන ලද්දේ ද ඇමතිවරුන් විසිනි. කාවන්තිස්ස රජතුමාගේ ඇමතිවරුන් දුටුගැමුණු රජුට ලිපි යැවීමෙන් කාවන්තිස්ස රජතුමාගේ මරණය සම්බන්ධ පුවත දන්වන ලද බව වංසකතාවෙහි දක්වා තිබේ.
(ම.ව. 24:16 )

එමෙන් ම දුටුගැමුණු රජුට තිස්ස ඇමතිවරයා සහාය දක්වන ලද බවත් වළගම්බා රජුට සහායවීම උදෙසා ඇමතිවරුන් ක‍්‍රියා කරන ලද බවත් ඉතිහාසයෙහි දක්වා ඇත. වසභ රජතුමා තමන්ගේ ඇමතිවරුන් ප‍්‍රාදේශීය පාලනය යෙදවු අතර ඉසිගිරිය ඇමතිවරයාට නාගදීපය ප‍්‍රදේශය පාලනය කිරීමට දීමෙන් ඒ බව පැහැදිලි වේ. එසේනම් ඇමතිවරුන් ප‍්‍රාදේශීය පාලකයන් වශයෙන් ද ක‍්‍රියා කොට තිබේ.

තව ද ඇමතිවරුන් රජුට එරෙහිව ක‍්‍රියාකරන ලද අවස්ථාවන් සම්බන්ධයෙන් ද වංසකතාවෙහි දක්වා තිබේ. මහසෙන් රජතුමා මහාවිහාරය විනාශ කිරීමට එරෙහිව ක‍්‍රියාකරන ලද අවස්ථාවේ දී මේඝවර්ණාභය ඇමතිවරයා එයට එරෙහිව ක‍්‍රියා කර ඇත. මෙසේ රාජ්‍ය පාලනයට සහාය දක්වන ලද ඇමතිවරුන් ගැන සෙල්ලිපි තුළින් ද තොරතුරු හමුවී තිබේ. එවැනි අවස්ථාවක් ලෙසින් උද්දකන්දර ගල්ලෙන ලිපියෙහි පහත පාඨය පෙන්වාදිය හැකි යි.

          ‘‘ලෙණෙ සගස මහමත තිසහ ලෙනෙ සගස’’

තිස්ස නම් මහාමාත්‍යවරයා විසින් පූජා කරන ලද බව සඳහන්යx
එසේම ඇමතිවරුන් පිළිබඳව දැක්වෙන තවත් සෙල්ලිපි කිහිපයක් මෙසේ දැක්විය හැකි යx

        බ‍්‍රාහ්මණයාගමෙන් ලැබුණු ලිපිය  -  ‘‘ පරුමක සගය මතහ ලෙණෙ’’

        රිටිගල වේවැල්තැන්නේ ලිපිය -     ‘‘මහමත බඹදත’’
අටුගොඩ ප‍්‍රදේශයෙන් ලැබුණ ලිපිය -  ‘‘බත සිනහ බතගු අමත’’

මේ ආකාරයට අනුරාධපුර රාජ්‍ය පාලනය උදෙසා ඇමතිවරුන්ගෙන් විශාල දායකත්වයක් ලැබුණු බව පැහැදිලි යx

අනුරාධපුර රාජධානියෙහි රාජ්‍ය පාලනය උදෙසා දායකත්වය දක්වන ලද තවත් නිලධාරි පිරිසක් ලෙස ‘පුරෝහිත’ නම් වූ තනතුර දැක්විය හැකිය. රජුගේ අනුශාසක වශයෙන් බ‍්‍රාහ්මණ පුරෝහිතයන් ක‍්‍රියාකර තිබේ. භාරතයේ මෙන් ලාංකීය බ‍්‍රාහ්මණයාට උසස් තැනක් හිමි නොවීය. එයට හේතුව වූයේ මහින්දාගමනයෙන් පසුව එම තත්ත්වය බෞද්ෂ භික්ෂූන් වහන්සේලාට හිමි වීම යි. මෙම බ‍්‍රාහ්මණ පුරෝහිතයන් රජුන්ගේ උපදේශක වශයෙන් පමනක් නොව උත්සහ අවස්ථාවල දී ගෘහීය පූජකයන් වශයෙන් ද ක‍්‍රියා කර තිබේ. රජුගේ අභිෂේකය මෙන්ම අන්‍ය ගෘහීය චාරිත‍්‍ර සිදුකිරීමේ දී ද බ‍්‍රාහ්මණ පුරෝහිතයන් වැදගත් කොට සලකන ලදී.

මහාවංසයෙහි පුරෝහිත තනතුර පිළිබඳව ප‍්‍රථම වරට තොරතුරු හමුවනුයේ විජය රාජ්‍ය කාලයේ දී ය. විජය සමඟ පැමිණි උපතිස්ස බ‍්‍රාහ්මණයා පුරෝහිත වශයෙන් ක‍්‍රියාකර තිබේ. (ම.ව. 7:47)

එමෙන් ම පණ්ඩුකාභය රජතුමා තමාගේ පුරෝහිත වශයෙන් තබාගන්නා ලද්දේ පණ්ඩුල බමුණාගේ පුතා වූ චන්ද්‍ර කුමරුය.
(ම.ව. 10:79) පණ්ඩුල බමුණා පණ්ඩුකාභය කුමරුට අධ්‍යාපනය ලබාදුන් අතර ම සේනා සංවිධානය උදෙසා ද උපකාර කළ බව මහාවංසයෙහි දක්වා තිබේ. එහි දී තමාගෙන් පසුව චන්ද්‍ර කුමරු පුරෝහිත වශයෙන් තබාගන්නා ලෙස පණ්ඩුල බමුණා පවසා තිබේ. එසේ නම් රාජ්‍ය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම උදෙසා විශ්වසනීය පුද්ගලයෙකු වශයෙන් පුරෝහිත ක‍්‍රියා කළ බව පැහැදිලි ය.

ලංකාවේ ප‍්‍රථම වරට විධිමත් ලෙස පත්වූ පුරෝහිත පිළිබඳ තොරතුරු හමුවනුයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දීය. ඉන්දියාවේ අශෝක අධිරාජයා වෙත යවන ලද දූත පිරිසෙහි ගිය බමුණාට පුරෝහිත තනතුර ප‍්‍රදානය කළ බව වංසකතාවෙහි සඳහන් ය. (ම.ව. 10:26)

එසේ ම ‘සේනාපති’ තනතුර ද රාජ්‍ය පාලනය උදෙසා ප‍්‍රධානත්වය ගෙන ක‍්‍රියා කළ වැදගත් තනතුරකි. වංසකතාවෙහි මෙන්ම ශිලා ලිපිවල ද මොවුන් සම්බන්ධයෙන් තොරතුරු රැුසක් ම හමුවේ. සේනාපති යනු රජුගේ විශ්වසනීය පුද්ගලයෙකු වූ අතර ම, රජ පවුලට අයත්වීම ද විශේෂත්වයකි. මොවුන්ට අයත් වූ කාර්යයන් අතර හමුදා විධානය ප‍්‍රධාන ස්ථානයක් හිමිකර ගන්නා ලදී. සේනාපතිට බලතල රාහියක් හිමි වූ අතර, එය තමන්ගේ වාසියට හරවා ගැනීමට තරම් සේනාපති ක‍්‍රියා කොට තිබේ. සේනාපති පිළිබඳව තවදුරටත් තොරතුරු විමසීමේ දී පණ්ඩුකාභය රාජ්‍ය සමය වැදගත් ය. පණ්ඩුකාභය කුමරු සිය මාමාවරුන්ට එරෙහිව ක‍්‍රියා කළ අවස්ථාවේ දී සි්ව රඟ සේනා ලබා දී සෙනෙවියා යවා හාත්පසින් වට වූ රිටිගල වටලන ලද බව වංසකතාවෙහි විස්තර කර තිබේ. (ම.ව. 10:65-66) ඒ අනුව හමුදාවෙහි ප‍්‍රධානත්වය ගනිමින් සේනාව මෙයෙහවීමේ කාර්ය සෙන්පති විසින් සිදුකරන ලදී.

කෙසේ වුවද ලංකාව එක්සේසත් කරන ලද දුටුගැමුණු රජුගේ රාජ්‍ය සභාවෙහි ද සේනාපතිවරුන් සිටි බවට තොරතුරු හමුවේ. මොවුන් පිළිබඳව වංසකතාවෙහි විශේෂයෙන් දක්වා නොමැති අතර සෙල්ලිපි තුළින් මේ බව අනාවරණය වේ. සිතුල්පව්ව ලිපියෙහි ‘‘ දෙවනපිය රජ’’ අබයස සේනාපති පරුමක (මි තස ලෙණෙ අතග, අනගත චතුදිස සගස’’ යනුවෙන් සඳහන් ය. මහාචාර්ය පරණවිතානයන් පෙන්වා දෙනුයේ දුටුගැමුණු රජුගේ සේනාපති වූ නන්දමිත‍්‍ර පිළිබඳව මෙහි සඳහන් වන බවයි.
එමෙන් ම සේනාපතිවරුන් රජුට ද අභියෝගයක්ව සිටි බවට කරුණු රැුසක්ම ලංකා ඉතිහාසයෙන් අනාවරණය වේ. ඛල්ලාටනාග රජු මිය ගියේ මහාරත්තක නම් වූ සේනාපතියාගෙන් බව සඳහන් ය.

එසේ ම වළගම්බා රාජ්‍ය සමයේ දී පංච ද්‍රවිඩයන් එකිවෙනා මර ගනිමින් රාජ්‍ය බලය ලබා ගත් ආකාරය මහාවංසය මනාව විස්තර කර තිබේ. (ම.ව. 33:60) ධාතුසේන රජුගේ මිගාර නම් සෙන්පතියා කාශ්‍යප සමඟ එකතු වී ධාතුසේන රජුට එරෙහිව සිටි බව සඳහන් ය.

රජුට සහායවීම උදෙසා රාජ්‍ය තුළ ක‍්‍රියාකාරීත්වය ලබාදුන් තවත් රාජ්‍ය නිලධාරිෙයෙකු වශයෙන් ‘නගරගුත්තික’ පෙන්වාදිය හැකි ය. සෙල්ලිපිවල නගරගුඩික, නගරජුඩික වශයෙන් මෙන් ම නගරගුත්තික වශයෙන් මහාවංසයෙහි මෙම තනතුර පිළිබඳව දක්වා තිබේ. මහාවංසයෙහි නගරගුත්තික හෙවත් නගරපාලක වශයෙන් තොරතුරු හමුවන අවස්ථාවක් ලෙසින් පණ්ඩුකාභය රාජය සමය පෙන්වාදිය හැකි ය. පණ්ඩුකාභය රජු තමාගේ වැඩිමහල් මාමා නගරගුත්තික වශයෙන් පත්කොට නගරයෙහි පාලනය ලබාදුන් බව වංසකතාවෙහි දක්වා තිබේ.
         ‘‘ ඒ තෙම නුවර රක්නේ විය. එතැන් පටන්නගර  ගුත්තිකයෝ වූහ.’’ (ම.ව. 10:81)

නගරගුත්තික වශයෙන් භික්ෂූන් වහන්සේලාට පූජා කරන ලද ලෙනක් පිළිබඳව තොරතුරු මිරඳගොඩ ලිපියෙහි සඳහන් වේ. ‘‘නකරමුදික බරණි ගුතඟ ලෙණෙ අගත, අනගත චතු (දිස* ශගශ’’
මෙම නගරගුත්තිකයන් රාත‍්‍රි කාලයේ දී තම සේවය ලබාදුන් බවට තොරතුරු හමුවනුයේ අඩුවෙනි.

යෝධ නම් වූ නිලධාරි පිරිස ද අනුරාධපුර රාජධානි සමයෙහි සිටි වැදගත් පිරිසකි. දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් පිළිබඳව වංසකතාහෙි දක්වා තිබේ. (ම.ව. 23:2-3) එළාරට එරෙහිව සටන් කිරීමේ දී මෙම පිරිසගේ නොමඳ සහාය දුටුගැමුණු රජුට ලැබී තිබේ.

එසේම ගණක යනුවෙන් දක්වන ලද නිලධාරි පිරිස ද මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉතා වැදගත් පිරිසකි. පරණවිතාන මහතාට අනුව මොවුන් ගණකාධිවරුන් පිරිසකි. මෙවැනි ගණක නම් පුද්ගලයා  දෙවනපෑතිස් රජු දවස සිටි බවට වංසකතාවෙහි සඳහන්ය. (ම.ව. 11:20) මෙම ගණක නම් නිලධාරි පිරිස භාණ්ඩාගාරික ධූරයට වඩා පහත් යැයි සැලකේ. එසේම ගණක පිළිබඳව සෙල් ලිපිවලින් ද තොරතුරු අනාවරණය කරගත හැකිය. යාල මඟුල් මහා විහාර ලිපියට අනුව ගණකයෙකු පිළිබඳව සඳහන්ය.
        ‘‘ ගපති ගණක ස වෙමරුකන සවස ලෙණෙ සග (ස* එසේනම් ගණක නම් වූ නිලධාරි තනතුර ද එකල රාජ සභාවට අත්‍යවශ්‍ය වූ බව පැහැදිලිය.

‘දොරටුපාල’ යනු ද රාජ්‍ය සභාවේ ඉතාමත් වැදගත් නිලධාරි තනතුරකි. සාහිත්‍ය මූලාශ‍්‍රයවල ‘‘දෝමාරික’’ ලෙස ද, සෙල්ලිපිවල ‘‘දොරතන’’, ‘‘දේවවාරික’’ යනුවෙන් දක්වා තිබේ. දොරටුපාල තනතුර රජතුමාගේ සමීල පුද්ගලයෙකු ලබාදුන් බවත්, පරණවිතාන මහතාට අනුව මොහු වාසල නිළමේ’’ නම් වූ බවත් සඳහන්ය. දොරටුපාල නගරයෙහි දොරටු සතරේ රැුඳී සිටිමින් විවිධ කාර්යන් සිදුකරන ලද බව මූලාශ‍්‍රයවල සඳහන් ය. එම කාර්යන් අතර දොරටු විවෘත කිරීම, දොරු වැසීම, නගරයට ඇතුලූවන්නන් පරීක්ෂාව මොවුන් යටතේ සිදු වූ බව සඳහන් ය. දේවානම්පියතිස්ස රජතුමා ජය ශ‍්‍රී මහා බෝධිය වැඩම කරවන ලද අවස්ථාවේ දී තමා ම දොරටුපාලක වශයෙන් ක‍්‍රියා කළ බව වංසකතාව දක්වයි.
(ම.ව. 19:31) මෙයින් පැහැදිලි වනුයේ දොරටුපාල තනතුර ඉතා වැදගත් වූ බවත්, එය විශ්වසනීය පුද්ගලයෙකු විසින් සිදුකරන ලද බවත් ය. එසේම ඇතැම් අවස්ථාවල දී රජුන් පත්කිරීමේ දී දොරටුපාලක මූලිකත්වය ගෙන ක‍්‍රියාකරන ලදී. සිව නම් වූ දොරටුපාල විසින් අනුලා බිසව මෙහෙසිය කරවන ලද බව සඳහන් ය. (ම.ව. 34:17)

රාජ්‍ය සභාව පිළිබඳව තොරතරු ගවේෂණය කිරීමේ දී ‘රජ මෙහෙසිය’ අමතක කළ නොහැකිය. මහේෂී රාජ සභාව නියෝජනය කරන ලද අතර රාජ්‍ය පාලනයට සහාය ලබාදුන් වැදගත් අයෙකි. විහාරමහාදේවිය එළාර විරෝධි සටනේ දී ප‍්‍රමුඛත්වය ගෙන ක‍්‍රියා කරන ලදී. දුටුගැමුණු රජතුමා තම මෑණියන්ගේ උපායෙන් දෙතිස් බලකොටුවක් ඉදිකළ බවට තොරතුරු හමු වේ. (ම.ව. 25:25) මේ අනුව පැහැදිලි වනුයේ අනුරාධපුර රාජ්‍ය පාලනය ගෙනයාම උදෙසා අත්‍යවශ්‍ය ම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් රජ මෙහෙසිය ක‍්‍රියා කරන ලද බවයි. ක්ෂත‍්‍රිය වංශික කාන්තාවක් වූ ඇය, රජුගේ අගමෙහෙසිය වීම උදෙසා අභිෂේක කරන ලද බව සඳහන් ය.

එපමණක් ද නොව ‘‘භාණ්ඩාගාරික’’ නම් වූ නිලධාරියා ද අනුරපුර රාජ්‍ය සභාවෙහි සිටි තවත් වැදගත් නිලධාරියෙකි. මොහුට පැවරී තිබුණ කාර්යන් අතර භාණ්ඩාගාරය භාරව කටයුතු කිරීම වැදගත් ය. එසේම භාණ්ඩාගාරය සතු බඩු බාහිරාදිය පිළිබඳ වගකීම ද මොහු සතු විය. අතීත භාණ්ඩාගාරය වර්තමාන භාණ්ඩාගාරයකට සමානව පැවති බව සඳහන් ය. දේවානම්පියතිස්ස රජු විසින් අශෝක අධිරාජයා වෙත යවන ලද දූත පිරිසෙහි භාණ්ඩාගාරිකයෙකු සිටි බව සඳහන්ය. (ම.ව. 11:20) මෙම යුගයෙහි සිටි ගමිකයන් භාණ්ඩාගාරිකයන් වූ බව සෙල්ලිපිවලින් හමු වූ සාධකවලින් සනාථ වේ.
‘‘බඩකරික ගමික අනුඩිය ජිත උපසික තිසය ලෙණෙ’’ රටේ වැදගත්ම අංශය වූ ආර්ථිකයෙහි කේනද්‍රස්ථානය ලෙස රාජ්‍ය භාණ්ඩාගාරය පැවති බවත්, එහි පාලනය භාණ්ඩාගාරික සතු වූ බවත් මූලාශ‍්‍රයවල සඳහන් ය.

‘රථාචාර්ය’ තනතුර ද රාජ්‍ය පාලනයෙහි වැදගත් වූ තනතුරක් වූ අතර, මධ්‍යම මට්ටමේ රජුගේ විශ්වාස අයෙකි. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලූ ධර්ම දූතයන් වහන්සේලා මිහින්තලයේ සිට අනුරාධපුරයට කැඳවා ගෙන ඒම සඳහා රථාචාර්යවරයා යවන ලද බව සඳහන් ය. (ම.ව. 14:42) රජුගේ වැදගත් ගමන් යාම සඳහා රථාචාර්යා යොදා ගත් බවත්, ඒ සඳහා විශ්වසනීය පුද්ගලයෙකු යොදා ගැනීම ද විශේෂත්වයකි. එහෙත් ඇතැම් රියදුරන් රජුගේ විශ්වාසය බිඳ හෙළන ලද බව මූලාශ‍්‍රයවල සඳහන් ය. ධාතුසේන ජතුමා සිය රියදුරාට රහසක් කියූ බවත්, එය මුගලන් කුමරුට පැවසීමෙන් රියදුරා වරප‍්‍රසාද ලත් බවත් සඳහන් ය. එසේනම් රජුගේ විශ්වාසවන්ත පුද්ගලයා රජුට එරෙහිව ක‍්‍රියා කරන ලද අවස්ථා ලංකා ඉතිහාසයෙන් අනාවරණය වේ.

රාජ්‍ය පාලනය උදෙසා විවිධ අංශ නියෝජනය කරමින් ‘‘අධ්‍යක්ෂකවරුන්’’ සිටි බව ශිලා ලිපි සාධඛ තුළින් අනාවරණය වේ. පණදක හෙවත් වෙළෙඳ අධිකාරිවරුන් සිටි බවත් පරණවිතාන මහතාට අන්ව මොවුන් වෙළෙඳ අධ්‍යක්ෂක නම් වී ඇත. මාර්ග අධ්‍යක්ෂකවරුන් සිටි බවත් මොවුන් මහාමාර්ග සම්බන්ධයෙන් ක‍්‍රියාකළ බවත් සඳහන්ය. එවැනි මාර්ග අධ්‍යක්ෂකවරුන් සම්බන්ධයෙන් ආණයික්කුට්ටිකන්ද ලිපිය වැදගත්ය. එහි, ‘‘පණකර අදෙක සමුදහ ලෙනෙ’’යනුවෙන් සඳහන්ය.

එ පමණක් ද නොව රජුගේ සිවිකා භාරව මුදල් නිෂ්පාදනය සම්බන්ධ අධ්‍යක්ෂකවරු මෙන්ම නෘත්‍ය අධ්‍යක්ෂකවරුන් ද සිටි බවට තොරතුරු තිබේ. රාජය අංශයෙහි විවිධ කටයුතු භාරව විවිධ අධ්‍යක්ෂකවරුන් සිටි බවත් ඔවුනගෙන් විශාල සේවයත් ඉටුවූ බවත් වංසකතාවෛහි දක්වා තිබේ.

ඉහත සඳහන් කළ රාජය නිලධාරින්ට අමතරව තවත් බොහෝ රාජ්‍ය නිලධාරීන් තම දායකත්වය ලබා දී තිබේ. එම අවශේෂ නිලධාරීන් අතර ගමික, රටික, කෝෂ්ටාගාරික යන අය දැක්විය හැකිය. මෙම ආකාරයට අනුරාධපුර රාජ්‍ය සභාව සැකසී තිබූ අතර, රජුට සහාය වීම උදෙසා විවිධ නිලධාරීන් ක‍්‍රියාකරන ලද අයුරු ඉහත විස්තරය තුළින් ගම්‍ය වනු නියතය. එසේ නම් රටෙහි පාලනය රජුට තනිවම ගෙන ගිය නොහැකි බව සනාථ කරලමින් ඉතා සංකීර්ණ වූ නිලධාරි තන්ත‍්‍රයක් අනුරාධපුර රාජ්‍ය සභාව නියෝජනය කළ බව පැහැදිලි ය. රටේ ආර්ථික, දේශපාලන, ආගමික මෙන්ම සමාජයීය අංශයන් සමෘද්ධිමත් කරලීම උදෙසා එකල සිටි නිලධාරීන් ක‍්‍රියා කළ බව පසක් වේ. මෙ නයින් බලන කල්හි අනුරපුර යුගයේ ක‍්‍රියාකාරී නිලධාරී තන්ත‍්‍රයක් රජුට සිටි බව පැහැදිලි කරුණකි.

No comments:

Post a Comment